Tuesday, January 6, 2009

ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාස (Interview with Dr. Premasiri Khemadasa)

ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාස සිය දිවිමංතලාවෙහි සැත්තෑ එක්වන ගිරි හිසට එළැඹුණේ පසුගිය 25 වන දා ය. ඒ නිමිති කොට කැරුණු මේ සංලාපයෙහි දී ඔහු අවධාරණය කරන්නේ අපේ සංගීතඥයන් සින්දුවෙන් එහාට ගොස් නැති බවයි. සංගීතය යනු ගීතයට බොහෝ ඈතින් ඇති දෙයකැයි යන කේමදාසයන් ගේ මේ මතය රසික හා විද්වත් සමාජයේ වෙසෙස් විමැසුමට භාජන විය යුතු ය.

යම් චිත‍්‍රපටයකට සංගීතය නිමැවීමේ දී ඊට පාදක වී ඇති යුගයේ රිද්මය හසු විය යුතු ය, ඒ යුගයේ මිනිසුන් ගේ රිද්මය හා ස්පර්ශය හඳුනා ගනිමින් සංගීතය නිර්මාණය කිරීම පිළිබඳ ව ය ආචාර්ය කේමදාසයන් වැඩිදුරටත් පවසන්නේ. එ මතු නො ව අපේ ගීත, ආධුනිකයන් ගායනා කරනවා යැයි කියන ප‍්‍රවීණයන්ට මේ සංලාපයෙහි දී චෝදනා පරවශ ව බෙණෙන මේ ප‍්‍රාමාණික සංගීතඥයා “ඔය ප‍්‍රවීණයන්ගේ ගීත කොහේ තිබෙන්නේ දැයි කියා පෙන්වන්නැ” යි විවෘත අභියෝගයක් ද කරයි.

සංගීතය යන්න අද මෙරට සරල ගීතයට පමණක් සීමා වූ තත්ත්වයක පවතින බව ඔබ නිතර අවධාරණය කරන කරුණක්.

ලෝකෙ වෙන රටවල මේ සින්දුවෙන් එහාට කොච්චර දේවල් සිදුවෙලා තියෙනවද? අපි හරිම ආගාධයකනෙ ඉන්නේ. 13 වන සියවසේ පෘතුගාලයේ රජු තමයි සම්භාව්‍ය සංගීතයක් රචනා කරලා තියෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. රජ්ජුරුවන් ඉතිහාසගත වුණේ සම්භාව්‍ය සංගීතයක් රචනා කළා කියලනේ.

ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාස

ඒ වුණාට ඔවුන් ගේ කුලී හේවායෝ අරගෙන ආපු කපිරිඤ්ඤා සංගීතය තමයි අපි තාමත් භාවිත කරන්නේ. ඊට පස්සේ යුරෝපය හරහා 15 වන 16 වන යුගවලින් පස්සේ බීතෝවන් මෝසාර්ට් වගේ අය පහු කරලා රෝමාන්තික යුගය, සම්භාව්‍ය යුගය පසු කරල ‘මොඩර්න්’ යුගයට ඇවිල්ලා තියෙනවා.

අපි මේ කතා කරන මොහොත වෙනකොට අපේ ප‍්‍රවීණ යැයි කියන සියලු ම සංගීතඥයන්ට සංගීතය කියන්නෙ කොහොම හරි කැසට් එකක් ගහන එක විතරයි. විනාඩි තුනයි මේ සේරටම ගත වෙන්නේ. සින්දුවකින් එහාට ගියපු කතාවක් වත් අපිට අහන්න ලැබෙන්නෙ නෑනේ. ගීතයක් කියන්නේ වචන ගොඩකට නොවෙයිනේ.

ගී සංකල්පනාවක් තියෙන්න පුළුවන්. නමුත් අපට ගීත සම්ප‍්‍රදායක් තිබුණෙ නෑනේ, කවි සම්ප‍්‍රදායක් තිබුණට, ඉතාලිය, ඉන්දියාව වගේ රටවල් ගත්තොත් ඔවුන්ගේ භාෂාවත් හරි සංගීතවත්. කවියකින් ගීතයක් නිර්මාණය වෙනකොට විශේෂයෙන් ම කවි ආකෘතිය බිඳින්න ඕනනේ. නැත්නම් විස්මයක් පළ වෙන්නෙ නැහැනේ. අපි ඒකට ශබ්දාර්ථයක් ධ්වනිතාර්ථයක් කවන්න ඕන.

ඒක සාහිත්‍යයෙන් එහා තියෙන දෙයක්. ඒක සාහිත්‍යකරුවකුගේ වැඩක් මිසක් සංගීතඥයකුගේ වැඩක් නොවෙයි. සංගීතඥයකුගේ කාර්යය වන්නේ ඒ ආකෘතිය බිඳලා ගී සංකල්පනාවට අයත් නාද රටාවන් ඒ අනුව සකස් කිරීමනේ. අපට ඒ වගේ මොනවද තියෙන්නේ. අපිට සාහිත්‍යකරුවාගේ පස්සේ එල්ලිලා, ඔවුන් ලියපු වචනවලට තාලයක් දානවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නෑනේ.

සංගීතය කියන්නෙ ගීතයට බොහෝ එහායින් තියෙන දෙයක්. අපි හරිම පොඩි දුරයි ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ මහජන පුස්තකාලය දක්වා පමණයි. හෙට යන්නෙත් එතැනට විතරයි. සංගීතයේ කොයිතරම් දේවල් තියෙනවද? සිම්ෆනි, ඔපෙරා වගේ කොයිතරම් දේවල් ලෝකයේ වෙන රටවල කරලා තියෙනවද? ඒ වගේ දේවල් අපේ ළමයින්ට අහන්නවත් සැලසෙනවද? අහන්න නම් ඒ වගේ දේවල් තියෙනවා කියලා දැන ගෙන ඉන්න ඕනනේ.

සෞන්දර්යයේ දී මූලික වන්නේ විධිමත් අධ්‍යාපනයට වඩා අවිධිමත් අධ්‍යාපනයයි කියන එක අපි තේරුම් ගන්න ඕන. අවිධිමත් පැත්තෙනෙ මේ සියලු නිර්මාණ ආශ්චර්යයන් තියෙන්නේ. අඩුම තරමේ ඒකවත් මේ අය තේරුම් ගත්තද? ගුරුවරයාගේ සීමාව ඉක්මවා යන ශිෂ්‍යයකු ඉන්න පුළුවන්. අපි ඔවුන්ගේ හපන්කම් අගය කරන්න ඕනනේ. අපට සෞන්දර්ය අධ්‍යාපනයේදී ශිෂ්‍යයාගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපිට අහු නොවුණු සමහර විධික‍්‍රම ඔවුන් භාවිත කරනවා.

චිත‍්‍රපටයකට සංගීතය නිර්මාණය කිරීමේ දී ඔබට ම අනන්‍යවූ විධික‍්‍රමය කෙබඳුද?

සිනමා ගීතයත්, සිනමාවත් මොහොතින් මොහොත දවසින් දවස වෙනස් වෙනවනේ. මේ චිත‍්‍රපටයට මේ වගේ සංගීතයක් ඕනෑය කියා අපට නිශ්චිතවම කියන්න බැහැනේ. එක් අධ්‍යක්ෂවරයෙක් යොදාගන්නා තේමාව නොවෙයි වෙන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් යොදාගන්නේ.

එක් එක් අධ්‍යක්ෂවරයාට අනන්‍ය වූ ක‍්‍රමයක් තියෙනවා. ඉතින් අධ්‍යක්ෂවරයාගෙන් අධ්‍යක්ෂවරයාට වෙනස් වුණු සංගීතයක්නෙ නිර්මාණය විය යුතු වන්නේ. උදාහරණයක් විදියට ජයන්ත චන්ද්‍රසිරි ගත්තහම බොහොම ඈතට තේමාවන් හොයාගෙන යනවනේ. එතකොට සංගීතය නිර්මාණය කිරීමේදී අපි මොනවද හොයන්නේ.

16 වැනි සියවසේ මිනිසුන්ගේ රිද්මය නේ. ඒක අහු වෙන්න ඕන. මේ විෂයේදී ඕනම කෙනෙක් සෙරෙප්පු සපත්තු ගලවලා පොළොවට පය තිබ්බහම එයාට මුළු ලෝකයේ සියලුම සම්ප‍්‍රදායන් ස්පර්ශ වෙන්න ඕන. යුගයෙන් යුගයේ රිද්මයන් අහුවෙන්න ඕන. නිශ්චිත වශයෙන් ඒ චිත‍්‍රපටයට මේකයි සුදුසු කියලා ගත්තොත්. එතැන හොඳ නිර්මාණයක් නැහැ. මම හැම තිස්සෙම උත්සාහ කරන්නේ ඒ ඒ මිනිසුන්ගේ රිද්මය, ස්පර්ශය හඳුනා ගන්නයි.

පවතින තත්ත්වයෙන් වෙනස්වීමේ පෙලැඹවීමක් ඔබ තුළ ගොඩනැඟීමට හේතු පාදක වුණේ කෙබඳු සාධකද?

පොතපත, දියුණු සංගීත සම්ප‍්‍රදායන්ගේ ආභාසය, ලෝකයේ වෙනත් සංගීතඥයන් හා දැනුම් පරාසයන්, රිද්මයන් හඳුනා ගැනීම, ලෝකයේ තිරගත වුණු චිත‍්‍රපට, වේදිකා නාට්‍ය ආදී මේ සියල්ලේ ම ආභාසය තිබුණොත් තමයි වෙනස් නිර්මාණයක් කිරීමේ පෙලැඹවීම ඇතිවෙන්නේ. ළිඳ ඇතුළේ ඉන්න මැඩියෝ වගේ මේක ඇතුළට ම වෙලා තමන් කරන දෙයින් ඔබ්බට යන්න කිසිම උවමනාවක් නොමැති වුණොත් නව නිර්මාණ බිහිවෙන්නේ නැහැ. මම ඉන්දියාවට ගිහින් එහේ චිත‍්‍රපට කිහිපයක සංගීතය නිර්මාණය කළා. මම ඒවට මෙහේ ජන සංගීතය යොදලා තේරුමක් නැහැනේ. අපි ලෑස්ති වෙන්න ඕන එහි ජනජීවිතයේ රිද්මය, ශක්තීන් හ¼ඳුනාගන්න.

රාගධාරී සංගීතය උගත් අය මෙරට සංගීත ඒකාධිකාරයක් ගොඩනඟා ගත්තාය කියා ඔබ විශ්වාස කරනවද?

ඔවුන්ට ඉතින් ඉන්දියාවේ ඉඳලා ඇවිත් වෙන කරන්න දෙයක් නැහැනේ. එක්කො කොහේ හරි ඉස්කෝලෙක උගන්වන්න ගියා. රාගධාරි සංගීතය ඉගෙන ගෙන ඇවිත් සෞන්දර්ය විෂයේ නියමාකාරව හැසිරෙන එක්කෙනෙක් ඉන්නව නම් මට පෙන්වන්න බලන්න.

තමන්ගේ් පැවැත්ම සඳහා එහේ ගිහින් සහතිකයක් අරන් ඇවිත් මෙහේ අපේ ළමයි බිල්ලට ගන්නවා. ඒකටම හරි යන විෂය නිර්දේශයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හදලා තියෙනවා. ඒකටම කියලා විශ්වවිද්‍යාලයකුත් හදලා තියෙනවා. හැබැයි ලංකාවෙ සෞන්දර්යය නැති එකම තැන තමයි සෞන්දර්යය විශ්වවිද්‍යාලය.

මම ඉන්දියාවේ චිත‍්‍රපට කිහිපයකට සංගීතය නිර්මාණය කරන්න ගිය අවස්ථාවේ එහේ ඉන්න සිතාර් වාදකයන් කිහිප දෙනකුගෙන් ඇහුවා ඔවුන්ගේ ක්ෂේත‍්‍රයේ නවකයන් ගැන. ඔවුන් කිව්වේ අපි ළඟට සිතාර් වාදනය ඉගෙන ගන්න එන අයට අපි කියනවා අවුරුද්දක් විතර තබ්ලාව හොඳට ඉගෙන ගෙන එන්න කියලා, ඊට පස්සෙයි අපි එයාගේ අතට සිතාර් එක දෙන්නේ කියලා. මෙහේ එහෙම නොවෙයිනේ.

ආපු ගමන් දඩෝං ගාලා සිතාර් එක අතට දෙනවා. මට මේ දරුවන් ගැන ඇත්තටම දුකයි. ඔවුන්ගේ අනාගතය එතැනින් ම ඉවරයි. ඔන්න ඔය වගේ රාගධාරී ප‍්‍රවීණයන් අතරේ බිහිවන අපේ ළමයින්ගේ ඉදිරිය ගැන කවර කතාද?

රාගධාරි සංගීතයෙන් බැහැරව ජන ගී සම්ප‍්‍රදායන්ගෙන් ආභාසය ලබාගත් සංගීත ශිල්පීන් වශයෙන් ඔබ හඳුන්වන අය කවුරුන්ද?

ඇත්තටම ආනන්ද සමරකෝන් ඒ වගේ කෙනෙක්. ඊට පස්සෙ බිහිවුණු අය බලෙන් මේ සම්ප‍්‍රදායන් ගන්න යොදන්න හැදුවා. තාගෝර්ගෙත් එහෙම ආභාසයක් සම්ප‍්‍රදායක් තිබුණා, බටහිර සංගීතය බහුල වශයෙන් යොදා ගත්. අමරදේවගේ මුල් කාලය එහෙමයි. එච්චර දුර යන්න ඕන නෑ. දැන් බලන්න බුදු හාමුදුරුවො ඇයි පාලි භාෂාව තෝරා ගත්තේ බලන්න.

“මනෝ පුබ්බංගමා ධම්මා

මනෝ සෙට්ඨා මනෝමයා....” ඕන කෙනකුට අහන්න පෙලඹවීමක් ඇති වෙනවනේ. අර්ථය නොතේරුණත් මේ වදන් අහගෙන ඉන්නවනේ. බුද්ධං සරණං ගච්ඡාමි. තමන්ගේ මවු භාෂාවෙන් ඔබ්බට යන්න ගමේ ඉන්න මේ මිනිස්සු පුරුදු කළේ කවුද? “මම බුදුන් සරණ යමි” කියලා, අපේ භාෂාවෙන් කිව්වා නම් මේ වගේ පෙලඹවීමක් ඇති වෙනවද? බුදු හාමුදුරුවෝ ඉස්සෙල්ලම සොයා ගත්තේ තමන් දැන උගත් ධර්මය ප‍්‍රචාරය කරන්න හොඳ, මිනිසුන්ගේ හිත් ඇද ගන්නා සංගීතාත්මක භාෂාවක්. මේ සින්දු ලියන අය මේක හිතන්නේ නැහැනේ. අද ගීතයෙන් එහාට යන, ජන ගී සම්ප‍්‍රදායන් ඇසුරින් බිහිවුණු හොඳ නිර්මාණ දකින්නට නැහැ.

ජන ගී සම්ප‍්‍රදායයෙන් ආභාසය ලබාගත් සංගීතවේදියකු වශයෙන් වික්ටර් රත්නායකයන් බොහෝ රසිකයන් ගේ ඇගැයීමට ලක්වෙනවා...

එයා සින්දු කියනවා එච්චරයි. ජන ගී සම්ප‍්‍රදායෙන් ආභාසය ලබාපු බවක් මට නම් පේන්නෙ නෑ. හාමුදුරුවොත් ඉන්න ඇති..., පන්සලෙත් ඉන්න ඇති, බුදු හාමුදුරුවො දකින්නත් ඇති, එහෙත් ඉන්න ඇති, මෙහෙත් ඉන්න ඇති... ඊට එහාට මුකුත් නැහැ. එච්චරයි.

වර්තමානයේ ජන ගීයෙන් උදුරාගත් වචන යොදමින් “හිපොප් ගී” රැල්ලක් මතුව තිබෙනවා. මේ සම්ප‍්‍රදාය වඩාත් වර්තමාන සමාජය හා බද්ධ වන බවටත් මතයක් ගොඩනැඟිලා තිබෙනවා. මේ නිර්මාණ ඇසුරේ එක් එක් සම්ප‍්‍රදායයන් ගෙන් ලැබූ සියුම් ඇසුර දකින්නට ලැබෙනවද?

මේවා එක එක්කෙනා ජනපි‍්‍රය වෙන්න හදාගත්ත සමයං. මිනිස්සු අතට යනවා කියන එක බොරුවක්. ප‍්‍රාථමික යුගයේ ඉදන් ම මිනිසුන්ගේ යම් රිද්මයක් තියෙනවානේ. ඒ රිද්මය හරහානේ මේක ගොඩනැඟිය යුතු වන්නේ. දැන් බ්ලැක් ඇමරිකන් වගේ සම්ප‍්‍රදායක් ගත්තොත් ඒවායේ මාර රිද්මයක් තියෙනවානේ. ඒ වගේ සම්ප‍්‍රදායන් එක්ක මේවා මොනවද?

අනිත් කාරණේ මේවා කරලා ඒවා සාධාරණීකරණය කරන්න මොනවා හරි හේතු පාඨයක් දක්වනවනේ. දැන් බලන්න පසුගිය කාලේ සංගීතය උගන්වනවායැයි කියපු මහ ලොකු මහාචාර්යවරු කී දෙනෙක් අර සන්ෆ්ලවර්ස්ලා එක්ක සින්දු කිව්වද? ලැජ්ජයි නේද? මෙච්චර සම්ප‍්‍රදායක් ඉගෙන ගත්තැයි කියන මේ මිනිස්සු කිසිම තේරුමක් නැති, අර්ථය නසන, ශබ්ද ගොඩකට මැදි වෙලා සිංදු කියලා ඇවිත් ලැජ්ජ නැතිව තව ළමයින්ට සංගීතය උගන්වනවා.

සංගීතයේ තියෙන සියුම්කම කෝ. දැන් බලන්න අදත්, සුළං කුරුල්ලෝ, දේදුන්නෙන් එන සමනළුනේ, ළඳුනේ වගේ සින්දු මිනිස්සු ප‍්‍රතික්‍ෂෙප කරන්නෙ නැහැනේ. අවශ්‍ය වන්නේ හොඳ පසුබිමක ගීත ගායනා කිරීමයි. මිනිස්සු මහ ඉහළින් මේවා පිළිගත්තනේ. නිර්මාණාත්මක මාධ්‍යයක් තියෙන්න ඕන, මනස විවෘත වෙන්න ඕන, විශ්වීය හැදෑරීමක් කරන්න ඕන. විශ්වයේ රිද්මයන් හඳුනාගෙන තියෙන්න ඕන. මෙන්න මේවා තමයි සංගීතයට අවශ්‍ය වන්නේ.

දැන් දඩුබස්නාමානයේ එන “කෝල්මුර” මම කලින් අහලා තිබුණේ නැහැ. මහනුවර දළදා මාළිගාවෙන් ඊට පස්සේ ලියලා එවලා තිබුණා.” මේවා අපි කෙම්මුර දවස්වල ඉතාම රහසිගතව ගායනා කරන්නේ. මේවා පිළිබඳ අවබෝධය ඔබ කොහෙන්ද ලබා ගත්තේ, අපි තීරණය කළා දියවඩන නිලමේ තුමා සමඟ සාකච්ඡා කරලා ඔබට මේවා අහගෙන ඉන්න සලස්වන්න කියලා. ඉතින් මම කිව්වා සංගීතඥයකුට එහෙම අවශ්‍ය නැහැ කියලා.

මට තව මොහොතකින් 15 වන සියවසට යන්න පුළුවන්. එහි රිද්මයයි අපි හඳුනාගත යුතු වන්නේ. නැතුව ඒ යුගයේ තිබුණේ සංගීත භාණ්ඩය නවලද දිග ඇරලද කියලා නොවෙයි. ඒ යුගයේ මිනිසුන්ගේ රිද්මය හොයා ගත්තහම ඉබේම අර සියල්ලම හොයා ගත්තා වෙනවා. මේ සඳහා අපට නොයෙකුත් සම්ප‍්‍රදායන්ගේ ආභාසය ලබන්න වෙනවා. නැත්නම් කිසිම දෙයක් කරන්න බැහැ. හැබැයි ඒ එක සම්ප‍්‍රදායකටවත් ගැති වෙන්න නරකයි.

ඒ සම්ප‍්‍රදායන්හි ඇති නොයෙකුත් ලක්‍ෂණ හා තාක්‍ෂණයන් ගත්තට අපේ දේ විනාශ වන්නේ නැහැ. ඉදිරියට යන්න නම් ඒවා ගන්න ඕන. නැතිනම් අපි පහළොස්වැනි සියවසේම නෙ ඉන්නේ. අපට වැඩිය දියුණුවක් ලබලා තියෙන සම්ප‍්‍රදායක ඇති වටිනාකම් ලබාගන්න අයිතිය තිබෙනවා.

පසුගිය වකවානුවේ ඔබට සමාජයෙන් යම් චෝදනාවන් එල්ල වුණා. විවිධ ආධුනික ගී ප‍්‍රසංග, තරු තේරීම වගේ කටයුතුවලට දායක වීම නිසා...

ඔය ප‍්‍රවීණයෝ කියනවානේ අනුන්ගේ ගීත කියනවා කියලා. එතකොට ඔය ප‍්‍රවීණයෝ කිව්වේ කාගේ ගීතද? ඔවුන් ප‍්‍රවීණයෝ වුණේ මගේ ගීත කියලනේ. ඔවුන්ට අයිතියක් නැහැ එහෙම කියන්න. මම මේ ගීත රචකයෙකුට වද දීලා ගීතයක් හොයාගෙන, ඊට පස්සේ මේ ගායකයන්ය කියා ගන්න අයගේ කටහඬවල් හදලා සින්දුවක් කළාම මේ ගායකයන්ට කොහේද ඒ ගීතයේ අයිතිය තියෙන්නේ.

ඒවා මගේ ගී. මගේ ගීතනේ ගායනා කරලා තියෙන්නේ. ඉතින් මගේ ගීතයක් ආධුනිකයෙක් ලවා හරියට ගායනා කරවන්න මට අයිතියක් නැද්ද? දවස් ගණන් මහන්සි වෙච්ච ප‍්‍රවීණයෝ ඉන්නවා තමන්ගේ කටහඬ හදාගන්න. ඉතින් ඔවුන්ට ඒකට අයිතිවාසිකම් කියන්න පුළුවන්ද? අනික් සාමාන්‍ය ගීතයක් කියන කොටයි, මගේ ගීතයක් ගායනා කරනකොටයි හෙඩ් තියෙන ඒ පරාසයන් හැමදේකම වෙනසක් හඳුනාගන්න ඕන.

මිනිස්සු කැමැති වන්නේ ඒකටයි. අපි දවස් ගණන් මහන්සි වෙලා සංගීතඥයන් ගෙන්වලා දවස් ගණන් පුහුණු කරලා, ඔවුන්ගේ හඬවල් තියෙන තත්ත්වයෙන් උඩට අරගෙන, ඒ සියල්ලම කළාට පස්සේ මෙන්න කාඩ්බෝඩ් එකක් ගහනවා අපේ ගීත ආධුනිකයෝ ගායනා කරනවා කියලා. මට පෙන්වන්න ඔවුන්ගේ ගීත කොහේද තියෙන්නෙ කියලා? ඇයි ඒ කුහකත්වයෙන් කතා කරන්නේ. ගමේ ඉඳලා ආපු අසරණ දුප්පත් තරුණ තරුණියෝ ගීතයක් ගායනා කළහම මොකද වෙන්නේ.

මේ ප‍්‍රවීණයෝ තාරුණ්‍යය ගැන, ආදරය ගැන සිංදුවක් කියන කොට තියෙන වියපත්භාවයට වඩා ජීවී භාවයක් මේ තරුණ තරුණියන්ගේ තියෙනවා. ඔවුන් තරුණයි, ලස්සනයි. ඇයි ඉතින් අපි කුහක වෙන්නේ. ඒ ගොල්ලන්ටත් තමන්ගේ ගීත නෑ. මේ අලුත් අයටත් තමන්ගේ ගීත නෑ. ඒකයි ඇත්ත. ඒ ප‍්‍රවීණයෝ මේ ක්‍ෂෙත‍්‍රයට මුලින්ම ආවෙත් අනුන්ගේ ගීතයක් කියාගෙන.

ඔබ ඇසුරේත් බොහොමයක් නවකයන් අභ්‍යාසයේ යෙදෙනවා. ඔබ පවසන සෞන්දර්ය ගවේෂණයේ යෙදෙන නිර්මාණකරුවන් මේ අතරවත් සිටිනවාද?

ඒක තමයි තියෙන ලොකුම ගැටලුව. මම හිතන්නේ මගේ ළමයින්ටවත් බැහැ. එහෙම ගොඩනැඟෙන්න ඉතා ගවේෂණශීලි පුද්ගලයෙක් වෙන්න ඕන. සංගීතය ගැන විතරක් දැනගෙන මදි. මේ එක්කෙනෙක් ගෙන් වත් ඇහුවොත් බර්ටෝල් බ්‍රෙෂ්ටි හදාරලා තියෙනවද කියලා නැහැ කියයි.

ඇයි නාට්‍යයට දුරස්තකරණ රීතියක් ගෙනාවෙ. නිකන් නාට්‍යයක් රස විදලා රඟහල ඇතුළෙ ඉදලා යනවද නැත්නම් නාට්‍ය අධ්‍යයනය කරලා තමන්ගේ ප‍්‍රඥාව කොයිතරම් දුරකට වර්ධනය කර ගන්නවද කියලා හිතන්න ඕන. පවතින පාලන ක‍්‍රමය වෙනස් කරන්නේ තමන් කොයිතරම් දුරකට සහයෝගයක් දක්වනවද, උදව් කරනවද කියලා හිතන්න ඕන. ඒ ඒ දේවලට අදාළ දේවල් කියවන්න ඕන, ඇසුරු කරන්න ඕන.

ඔබ මේ තාක් කළ වැඩ කටයුතු, නව සංගීත ප‍්‍රයත්නයන් ගවේෂණයන් බොහොමයි. ඔබ ඉදිරි කාලය ගත කිරීමට බලාපොරොත්තු වන්නේ කෙලෙසද?

පසු කළ කාලය පිළිබඳව නම් මා තුළ කිසිම පසුතැවිලි වීමක් නැහැ. මට දැන් වයසයිනේ. ශල්‍යකර්ම තුනකට භාජනය වෙලා මම ඉන්නේ. ඔපෙරා එකක් තියා පාරෙ ඇවිදින්නවත් බැරි තරමට මම දුබල වෙලා ඉන්නේ. කොහොමටත් හැමදාමත් ජීවත් වෙන්න බැහැනේ. දැන් උපරිමයට ඇවිත් ඉන්නේ. මෙතැනින් එහාට ටිකක් අමාරුයි.